No menu items!
32.4 C
Sri Lanka
20 April,2024

යාළුවා නොහිටියා නම් මම කෝච්චියට පනිනවා – ඇය දැන් ලෝක විවාහක රූ රැජින නොවේ. ජූරි කැරොලයින්ය.

Must read

■ සමරසිංහ ගුණසේකර

ඇගේ සම්පූර්ණ නම කැරොලයින් ලූසී ඈන් ජූරිය. ඇය 2020 වර්ෂයේ ලෝක විවාහක රූ රැජිනයි. එහෙත් ඇය දැන් නිකම්ම නිකම් කැරොලයින් ජූරිය. එහෙත් ලෝක විවාහක රූ රැජින කියනවාට වඩා නිකම්ම නිකම් ජූරි එඩිතරය. නිරහංකාරය. ඇත්ත ඇති සැටියෙන් කියන්නීය. ඒ සියලුම ගති සොබාවන්ට වඩා ඇය විශ්වාස කරන්නේ කුමක්ද? ඇය පෙනී සිටින්නේ කුමක් සඳහාද? ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළ නොව ඊටත් වැඩි යමක් ඇත්නම් එය කැප කරන්නට තරම් ආත්ම ශක්තියක් ඇත්තීය.
මීට පෙර රජවරුන්, රාජ කුමාරයන් කිරුළ අත්හළ අවස්ථා කිහිපයක් තිබේ. එහෙත් ඔවුන් එය කළේ පුද්ගලික හේතු මතය. ප්‍රේමය වෙනුවෙනි. එහෙත් කැරොලයින් ජූරි 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හළේ පොදු පරමාර්ථයක් සඳහාය. තමා පෙනී සිටින ස්ථාවරය වෙනුවෙනි. ලෝකයේ කීර්තිමත්ම සති සඟරාව වූ ‘ටයිම්’ සඟරාවේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ගැන පුවතක් පළවන්නේ බොහෝම කලාතුරකිනි. එහෙත් පසුගිය සතියේ ටයිම් සඟරාවේ මුල් පිටුවකම කැරොලයින් ජූරිගේ නික්මයාම අගයමින් සටහනක් තබා ඇත්තේ මෙසේය.
“මා පෙනී සිටින අගයන් වෙනුවෙන් කිරුළ මට අහිමි වෙන්න පුළුවන් වුවත්, ලෝක විවාහක රූ රැජින තරගයේ පරමාර්ථය කුමක්ද, මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා යැයි මම විශ්වාස කරමි.”
කැරොලයින් ජූරි, ලෝක විවාහක රූ රැජින, ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තරගයේදී ජයග්‍රාහිකාවගේ කිරුළ උදුරාගැනීමෙන් පසුව අප්‍රේල් 10 වැනිදා කළ ප්‍රකාශය.
මේ ලිපිය ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධ ගාලගෝට්ටිය ගැන නොවේ. කිරුළ අත්හළ කැරොලයින් ජූරි නම් සුවිශේෂ කාන්තාව ගැනය. විවාහක රූ රැජින තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ලංකාවට පැමිණි කැලුම් විජේසූරිය සමග ඇය කළ සම්පූර්ණ සාකච්ඡාව, ඇගේ ස්වාමිපුරුෂයා සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කළ ප්‍රකාශ, ලංකා රූ රැජින තරගයට ඉදිරිපත් වූ එක් තරගකාරියක හැර අනිත් සියලුම තරගකාරියන් එකහෙළා කැරොලයින් ජූරි ගැන කළ ප්‍රශස්ති අනුව මා හඳුනාගත් සුවිශේෂ කාන්තාව ගැනය.
ඇය රූමත්ය. ඒ ගැන කතාවක් නැත. ලෝකයේ දස දෙසින් ආ රූ රැජිනියන් පනස් හතර දෙනෙකු පරදවා ඇය ලෝක විවාහක රූ රැජින වූයේ රූමත් නිසාය. තිස් පස් අවුරුද්දකට පෙර රෝසි සේනානායක මහත්මිය දිනාගත් එම කිරුළ නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට වාසනාවන්ත වූයේ ඇය රූමත් නිසාය. බොහෝ රූමත් ගැහැනු බුදුන් දවස දඹදිව හුන් රූමත් මාගන්ධියා වගේ අහංකාරය. එහෙත් ජූරි කැරොලයින් බොහෝ නිරහංකාරය. මෙසේ කියන්නේ ඇය සමග සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වූ කැලුම් විජේසූරිය හා පසුව පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වූ ලංකා විවාහක රූ රැජින තරගයේ තරගකාරියෝය.
“ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගෙන ආවාට පස්සේ 2021 ලංකාවේ විවාහක රූ රැජින ඉස්සරහට පෙනී සිටින තරගකාරියන් සඳහා පැවැත්වූ වැඩමුළුවකදී කැරොලයින් ජූරි තරගකාරියන් ඇමතූ විදිහ මම කනින් ඇහුවා. ඇහින් දැක්කා. දවසේ ඕනෑම වෙලාවක, රෑ දොළහට වුණත් මට කතා කරන්න කියා ඇගේ දූරකථන අංකය තරගකාරියන්ට දුන්නා. ඔවුන් දිරිමත් කළා. උපදෙස් දුන්නා” කැලුම් කියයි.
“ජූරි කැරොලයින් කියන නම විශ්වකෝෂයකවත් නැහැ. ඇය ඒ තරම් අපූරු ගැහැනියක්. නිහතමානීයි. නිරහංකාරයි. හැමවිටම අප ධෛර්යවත් කළා” එක් තරගකාරියක් පුවත්පත් සාකච්ඡාවේදී පැවසුවාය.
“ඇය සමහර දවස්වලට අපට කන්න ගෙදරින් කෑම පවා හදාගෙන ආවා. ඇවිදින හැටි පෙන්නුවා. ඉංග්‍රීසි ටිකක් දැනගත්තොත් ජාත්‍යන්තර තරගයකදී ලකුණු ගන්න පුළුවන් වේවි කියලා අපට උපදෙස් දුන්නා” තවත් තරගකාරියක් කීවාය.
කවුද මේ කැරොලයින් ජූරි?
ඇගේ ගම කඳානය. ඇය කියන හැටියටම ඇය සාමාන්‍ය පවුලක සාමාජිකාවකි. පියා හා මවට අමතරව සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් සිටියෝය. ඇය ඉගෙන ගත්තේ රජයේ පාසලකය. ළමාවිය බෙහෙවින් කටුකය. ඇය කියන විදිහට අඳුරුසහගතය. මාසය පහක් පමණ පියාට හරිහමන් රස්සාවක් නොතිබුණ නිසා අනේක දුක්ගැහැටෙන් පීඩා විඳි ඔවුන්ගේ පවුලට එකල උදව් වුණේ මවගේ මිතුරියකි. පසුව පියාට රැකියාවක් ලැබුණු අතර සහෝදර සහෝදරියන්ද රැකියාවක් කරන්නට පටන්ගත් නිසා පවුලේ ආර්ථික ගැටලු යම් තරමකට විසඳුණත් ජූරි කැරොලයින්ගේ පාසල් ජීවිතය බෙහෙවින් දුක්මුසු විය. ඇය උසය (ඇගේ දැන් උස අඩි 5 යි අඟල් 10 කි). උස නිසා පාසල් ළමෝ ඇයට පොල්ගහ යැයි විහිළු කළෝය. එකල ඇගේ දත් ඉස්සරහට නෙරා තිබුණු නිසා සෙසු ළමෝ පොල් බෑයක් ගාගන්න පුළුවන්දැයි අසමින් ඇයට කොලොප්පම් කළෝය. ඇය නෙට්බෝල් ක්‍රීඩාවට කැමැති වුණත් නිතරම අසනීප වීම නිසා පාසල් ගියේ දෙකට දෙවාරමටය. ඇගේ මව විනයගරුකය. ජූරි තරමක දඟකාරියක නිසා මව ඇයට දඬුවම් කළාය. “සමහර වෙලවට අම්මා කකුල් නිල්පාට වෙනකම් ගැහුවා. මේ කළේ මගේ හොඳට කියලා මට තේරුණේ පස්සේ”’ ඇය කියන්නීය.
ජීවිතය දුක්මුසු නිසා, හැම දෙයක්ම නරකට හිටින නිසා, ඇය සියදිවි නසාගන්නට තීරණය කළාය.
“එක සැරයක් වස බොන්න හිතාගෙන ගෙදර කාමරයකට ගියා. ඒත් තාත්තා හදිසියෙන් ආ නිසා ඒක වැළකුණා” ඇය කියන්නීය.
“මට ජීවිතය හොඳටම එපා වුණා. ඉස්කෝලෙ ගියාම විහිළු කරනවා. කවුරුත් දකින්නෙ නරක පැත්ත විතරයි. කෝච්චියට පැනලා දිවිනසා ගන්න හිතාගෙන මම කඳාන ස්ටේෂම ළඟට ගියා. හයේ කන්තෝරු කෝච්චිය දුර එනවා. මම හඬ හඬා එකයි, දෙකයි.. කියලා තුන ගනින්න හදනකොට මගේ යාළුවෙක් මගේ උරහිසින් අල්වා “ජූරි ඔයා මෙතන මොකද කරන්නෙ? යං ගෙදර” කියා මා එක්කරගෙන ගියා. එදා යාළුවා නොහිටියා නම් මම කෝච්චියට පනිනවා” ඇය කීවාය.
කැරොලයින්ද කැරොලයින්ගේ පවුලේ අයද ක්‍රිස්තු භක්තිකයෝය.
“දෙසැරයක් දිවි නසා ගන්න ගිහින් වැරදුණේ දෙවියන් වහන්සේට මා ගැන වෙන සැලසුමක් ඇති හින්දයි කියල මා සිතුවා” ඇය කීවාය.
කෙටි කලක් ලංකාවේ රැකියාවක් කිරීමෙන් පසු ඇය රැකියාවක් සොයා කටාර් දේශයට ගියාය. ඇයට ලැබුණේ සුපිරි වෙළඳසැලක කවුන්ටරයේ රස්සාවකි.
“දවසේ පැය 9ක් එක දිගට හිටගෙන වැඩ කරන්න ඕනෑ. හවස් වෙනකොට කකුල් ඉදිමෙනවා. එක දවාලක් වැඩ කළාම අනිත් දවසේ රෑ වරුව. මේ විදිහට මාරුවෙන් මාරුවට වැඩ කළා. ඊට පස්සේ ඩුබායි ගියා. ඩුබායි එයාර්පෝට් එකෙන් බැහැලා බස් නැවතුමට ගියාම කොහේ යනවාද කියලා නිනව්වක් තිබුණෙ නැහැ. පස්සෙ මම යාළුවෙකුට කතා කළා. එයා මාව කැඳවාගෙන ගිහින් මට කන්න බොන්න දුන්නා. රස්සාවක් හොයලා දුන්නා” ජූරි කීවාය.
කැරොලයින් ජූරිට ඇගේ අනාගත සැමියා හමුවුණේ ඩුබායි නුවරදී අහම්බෙනි.
“මම වැඩ කළ සාප්පුවට යාබද සාප්පුවක එයා වැඩ කළා. එයා කළමනාකාරවරයා. මම දවසක් කවුදෝ එක්ක සිංහලෙන් කතා කරනවා ඇහිලා නිෂාන් මා එක්ක කතා කළා. පස්සෙ අපි යාළු වුණා. එයා ඉගෙන ගෙන තිබුණේ මා ඉගෙනගත් ඉස්කෝලෙම පිරිමි ඉස්කෝලේ. පස්සෙ අපි ලංකාවට ඇවිත් විවාහ වුණා.
එක් දරු මවක වූ පසුව ඇය දරුවා සිය මවට හා නැන්දම්මාට භාරදී ඩුබායි නුවර සුපුරුදු රැකියාව කළාය. රැකියාව කිරීමේදීද, අතදරුවා ගෙදර දමා ආ මවක ලෙසද ඈ මුහුණ පෑ අභියෝග බොහෝය.
මේවා එකින් එක විස්තර කරනවා වෙනුවට අපි දැන් ඈ ලෝක විවාහක රූ රැජින වූයේ කෙසේදැයි ඇගෙන් අසමු.
“මේ වගේ තරගයකට මුහුණ දෙන්න බොහෝ කාලයක සිට මගේ ආශාවක් තිබුණා. මගේ ස්වාමිපුරුෂයාගේ හා ඔහුගේ මව, මගේ නැන්දම්මාගේ උනන්දුව නිසා මා ලෝක විවාහක රූ රැජින තරගයට අයැදුම් කළා” ඇය කීවාය.
තරගයට පෙනී සිටීමට ඇමරිකාවේ ලාස් වේගාස් නුවරට යායුතුව තිබුණු අතර මෙවැනි තරගවලට සහභාගි වන වැඩිදෙනාට අනුග්‍රාහකයෝ සිටිති. රූපලාවණ්‍ය ශිල්පීහු, අධ්‍යක්‍ෂවරු ආදි පිරිවර සිටිති. රූමත් වුවත්, දිරිමත් වුවත් කැරොලයින් ජූරි ප්‍රභූ පන්තියට අයත් නොවූ නිසාදෝ ඇයට අනුග්‍රාහකයෙක් නොවීය. සියල්ල තම වියදමෙන් කරගන්නට සිදුවිය.
“එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවරට යන්න වීසා ගන්න ඕනෑ වුණා. ඇමරිකන් එම්බසිය කිසිම හේතුවක් නොදක්වා දෙසැරයක්ම වීසා ප්‍රතික්‍ෂේප කළා. අන්තිමට වීසා ලැබෙන කොට ලාස් වේගාස් නුවර රූ රැජින තරගය පටන් අරගෙන. ලංකාවේදී ගුවන් යානයට නගින්න හදනකොටත් බර වැඩියි කියලා අඳින්න හිටිය සමහර ඇඳුම් ලංකාවේ තියලා යන්න වුණා” ඇය කියන්නීය.
ගුවන් යානයකින් මුලින් කටාර් නුවරට ගොස්, පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ගුවනින් ගොස් ලාස් වේගාස් නුවර ගොඩබසින විට ඇගේ අතේ තිබුණේ කුලී රියට ගෙවන මුදලත් රූපලාවණ්‍ය ශිල්පියාට ගෙවන්නට ගෙනගිය ඩොලර් 2000ත් පමණකි.
“මම ලාස් වේගාස්වලට යනකොට උත්සවය පටන් අරගෙන දවස් දෙකක් වෙනවා. මම කෙලින්ම හෝටලයට ගිහින් ලැහැස්ති වෙලා රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වුණා. පසුදා තරගයට සහභාගි වෙනකොට වෙන රටවලින් තරගයට ආ තරගකාරියන්ට වගේ පිරිවරක් මට හිටියෙ නැහැ. හොඳ ඇඳුමක් හෝ හොඳ සපත්තු තිබුණේ නැහැ.”
වට තුනකින් පැවැත්වූ තරගයේදී මුල් වටයේ හා දෙවන වටයේ කිසිදු දිනුමක් නොලැබූ ඇය අවසාන වටයේදී 2020 ලෝක විවාහක රූ රැජින වන්නීය.
“දිනුවාම මම ඇඬුවා. මගේ සතුටු කඳුළු. මා වෙනුවෙන් වෙහෙස වුණු අය ගැන හිතලා ඇඬුවා. දිනුවේ කැරොලයින් ජූරි නෙවෙයි. ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින නිසා මට අභිමානයක් ඇතිවුණා. ඊළඟ වර්ෂයේ ලෝක විවාහක රූ රැජින තරගය පවත්වන්නේ මේ සැරේ රූ රැජින තරගය දිනූ තැනැත්තියගේ කැමැත්ත අනුවයි. ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්. රුසියාවට මේ අවස්ථාව දෙන්න කියලා රුසියන් නියෝජිතයා කිව්වා. ඒත් මම මගේ මව්බිමේ තරගය පවත්වන්න ඕනෑ කියලා මගේ කැමැත්ත දුන්නා” ඇය කීවාය.
2020 ලෝක විවාහක රූ රැජින තරගය දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් කැරොලයින් ජූරිට ශ්‍රී ලංකාව සැලකුවේ කෙසේද? එය වෙනම කතාවකි.
මා වැනි බිළින්දා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ
කැරොලයින් ජූරි පයිසයකටවත් ගණන් ගත්තේ නැත. ඇය පිළිගැනීමට ගුවන් තොටුපළට මඟ පෙරහැර ගියේ නැත. තුට්ටු දෙකේ වැල් ටෙලිනාට්‍යයක පෙනී සිටි ඉන්දියාවේ අප්‍රකට නිළියන් පෙරහැරෙන් දක්කාගෙන ආ වෙලාවේ දෙපස සිට ජයඝෝෂා නැගුවා වගේ සෙනඟක් කැරොලයින් ජූරිට ජයඝෝෂා නැගුවේ නැත. ඒ ඇයි? ඇය ජනප්‍රිය පාසලක ඉගෙනගත් ප්‍රභූ සමාජ පන්තියට අයත් නොවූ නිසාය.
“මම දිනුවේ ලෝක විවාහක රූ රැජින තරගය. දිනුවේ මම නෙවෙයි. ශ්‍රී ලංකාව. මගෙන් ප්‍රයෝජන ගන්න” ඇය ආයාචනය කරන්නීය.
“සියදිවි නසාගන්න තැත් කරන තරුණ ළමයින්, ස්ත්‍රී දූෂණ වෙනත් හේතු නිසා දුක් විඳින ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් ඉදිරියේදී මා කැප වෙනවා” යැයි ප්‍රකාශ කරන්නීය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි