No menu items!
22.2 C
Sri Lanka
20 April,2024

ජනතා විමුක්ති පෙරමුණ වෙතය

Must read

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වැඩ පටන් ගන්නේ ශ්‍රී ලංකාවෙනි. ලෝකය එක යායක් වී සීමා මායිම් රහිත නො බෙදුණ දේශයක මිනිසුන් දම්වැලක් සේ ගෙතී ජිවත්විය යුතු යයි ලෝකවාසීහු කල්පනා කරති. ඔවුහු මිනිස් වර්ගයාට එරෙහි රාජ්‍ය ක්‍රියාකාරකම් ගැන ඇස ගසා ගෙන සිටිති. ඔවුන්ට ලංකාව වැදගත් වන්නේ මේ මිහිමඬලේ මානුෂීය පැවැත්මට හානි සිදු කරමින් සිටින නිසාය. ලංකාවේ පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් අප කුමක් කරන්නේද?


කෙලවරපිටිය බලාගාරයෙන් 40%ක කොටසක් අමෙරිකාවට විකිණීමට බැසිල් රාජපක්‍ෂ පිඹුරුපත් අඳිමින් සිටින බව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. අනුර කුමාර දිසානායකලා එක දිගට නො නවත්වා රටේ සිදුවන දුෂණ වංචා හෙළි කරමින් සිටිති. එහෙත් 1971 සිට ගෙවුණ පනස් වසර තුළ, පනතක් පරාජය කිරීමට තරම් හෝ පෙළ ගැසුණ පාර්ලිමේන්තු ශක්තියක් ඔවුනට හිමි නොවීම, සමහර විට, රටේ අවාසනාව විය හැකිය. ජවිපෙ දේශපාලනයට වසර 50කි. විධායක ජනාධිපති ක්‍රමයට වසර 43කි. ‘පිස්සෙක් ජනාධිපති වුණොත්…’ එදා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මේ ආණ්ඩු ක්‍රමයේ බරපතළකම දුටුවේ එසේය. සිදුවී ඇත්තේ පිස්සෙකු ජනාධිපති වීම නොවේ. විධායක ජනාධිපති ක්‍රමය නිසා ලංකාව පිස්සන් කොටුවක් වීමය. අදටත් විභාග වෙමින් පවත්නා පොදු දේපල නඩුවල නඩු භාණ්ඩ නිදහස් කරන නියෝග අධිකරණයෙන් නිකුත්වීම, විධායක ජනාධිපති ක්‍රමයේ අතුරුපලයකි. රාජ්‍ය සේවයට නුසුදුසු යයි ඉහළ අධිකරණය තීන්දු කළ චරිතයක් රටේ ඉහළම රාජ්‍ය සේවා තනතුර දැරීම විධායක ජනාධිපති ක්‍රමයේ අතුරුපලයකි. සොහොන් තැනීමට වංචාවෙන් යෙදවූ රාජ්‍ය මුදල් ආපසු ගෙවීම නිසා නඩු අස්කර ගැනීමට නීතිපති ඉල්ලා සිටීම විධායක ජනාධිපති ක්‍රමයේ අතුරුපලයකි. නිවැරදිකරුවන් වෙඩිකා මිය යාම, මරණ දඬුවමට නියමවූ මිනිමරුවන්ට රාජ්‍ය ආයතන භාරදීම විධායක ජනාධිපති ක්‍රමයේ අතුරුපලයකි.


විධායක ජනාධිපති ක්‍රමය සක්‍රිය කාලයෙහි රටේ නීතිය අධිකරණය හැසිරුවේ ඇස් වසාගත් දෙවඟනක නොවේ. ගොන් තකතීරුවෙකි. හෝ තකතීරු ගොනෙකි. ඒ ගොනා වැඩ වාසය කරන්නේ අලුත්කඩේද, කොඩිගහ යටද යන්න හරියටම කිව නොහැකිය. පිස්සු පූසා නඩු අසන විට, කොමිෂන් සභා නියෝජනය කරන විට. අර ගොන් තකතීරුවා අලුත්කඩේදී දැකිය හැකිය. 43 වෙනි ජනාධිපතිගේ නඩුව අසන විට අර ගොන් තකතීරුවා පාර්ලිමේන්තුවේදී දැකිය හැකිය. 2012 මන්නාරම් අධිකරණයට ගල් ගසන විට, ඒ තකතිරු ගොනා සිටියේ මහ පාරේය. විනිසුරුවන්ගේ නිවෙස්වලට ගල් ගසන විට, අර ගොන් තකතීරුවා සිටියේ රජ ගෙදරය.


උතුරු මැද පළාත් මහ ඇමතිකමෙන් තමා ඉවත් කිරිමට එරෙහිව ජීඩී මහින්දසෝම පැවරූ නඩුවේ තීන්දුව විධායකට එරෙහි එකකි. එහෙත් අගවිනිසුරු ගෙදර යැව්වේ නැත. දිවි නැගුම පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුව හේතුවෙන්, 43 වෙනි අගවිනිසුරුවරියට තනතුර අහිමි විය. එහෙත් 2018 විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය යන තීන්දුව දුන් අගවිනිසුරුට කිසිදු ආපදාවක් සිදු වුණේ නැත. සාරාංශ කළ මේ ඉතිහාසය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය පිස්සෙකුගේ දිනපොතක් මිස, නීතියක් රෙගුලාසියක් නොවන බවය. 1973 ජනරජ ව්‍යවස්ථාවට පසුව රටේ තරුණයන් ඡන්දයක් දුන්නේ රස්සාවක් ගැනීම සඳහා මන්ත්‍රී කෙනෙකු පත් කර ගැනීමටය. වර්තමානයේ පුරවැසියා පත් කළ මන්ත්‍රීන්ගෙන් ගමට රස්සා නොලැබේ. පාරවල් ලැබේ. පත් කර යැවූ මන්ත්‍රීට බාර් පර්මිට් ලැබේ. කොළඹින් ගෙවල් ලැබේ. තීරුබදු රහිත වාහන බලපත්‍ර ලැබේ.

එල්ලුම් ගහට නියමවූ චොකා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි පොන්සේකාත්, රංජා හිරේ යැවීමත් ජනාධිපති ක්‍රමයේ පලවිපාක මිස, අංගොඩ මානසික රෝහලේ ඇඳ ඉහපත් වාර්තා නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ දෙකක ක්‍රියාකාරම් අතර මිනිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට එල්ලුම්ගහට නියම වූ මිනිමරුවන් දෙදෙනෙකු නිදහස් කරවා එකෙකුට පාර්ලිමේන්තුවේ දොර විවෘත කර දීමත් අනෙකාට රාජ්‍ය ආයතනයක යතුර භාරදීමත් ජනාධිපති ක්‍රමයේ වියරු පිස්සු පූස් හඬ මිස, රටේ ජනමතය නොවේ. ඉතාලියට ගිය අගමැති ලැබුණ පිළිගැනීම යනු රටෙන් පිට ජීවත්වන මිනිසුන් ලංකාවේ ගෞරවය වෙනුවෙන් කරන පෙනීසිටීමක් බව අප අවබෝධ කරගත යුතුවේ. ඉතින් අප පෙළ ගැසිය යුතු නොවේද?


මේ සිද්ධවෙන්නේ 43 වසරක විගඩමක් මිස, අලුත් යමක් නොවේ. ජේ.ආර්. ජයවර්ධන විධායක ක්‍රමයට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීම පමණක් බවට කළ ප්‍රකාශයේ සක්‍රිය වීම පමණකි. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඒ ප්‍රකාශයම නීතිය නම් මමයි කියා සාරාංශ කළේය. ලෝකයෙන් ලංකාව මෙසේ වෙන් කොට දැක්වීමේදී අප ගැන ලෝකය සිතන තරමට අප අපේ අනාගතය උපන් රට ගැන නොසිතෙන බව මෙය කියවන ඔබට නොසිතේද?


ගිය ඉරිදා මාධ්‍ය ඉදිරියේ කතා කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රට ගොඩ ගැනීමට සංවර්ධන උපක්‍රම වෙනස් කළ යුතු බව කීය. රටේ ආරක්‍ෂාව භාරව සිටි විධායක ජනාධිපති සිරිසේන හය මසක් ආරක්‍ෂක කවුන්සලය රැස් නො කිරීමෙන් තම වගකීම් පැහැර හැරීම ගැන චෝදනා නැගෙයි. ඔහුට එරෙහි පාස්කු ඝාතන වරද පිළිබඳ අපරාධ නඩුවක් පැවරිය හැකිය. නීතිය අනුව නොකර සිටීමත් දඬුවම් ලැබිය හැකි වරදකි. නීති පොතේ එහෙම තිබුණාට විධායක ජනාධීපති ක්‍රමය නිසා එසේ කළ හැකි යයි කිසිවෙකුට එසේ සිතෙන්නේ නැත.


පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් පත් කෙරිණ. එහි වාර්තාවද නිකුත් විය. එහිදී මේ වැරදි හඳුනා නො ගත්තෙහිද? කෙනෙකුට එසේ ඇසිය හැකිය. එසේය. ඒ කොමිසමේ වාර්තාව මුළුමනින්ම හෙළි දක්වා නැත. ඒ ගැන අප නිහඬය. එවැනි අවස්ථාවකට මැදිහත්වීමට රටේ ජනතාවට නොහැකි බව කෙනෙකුට කිව හැකිය. එසේය. විධායක ජනාධිපති ගැහැනුන් මිනිසුන් කළ නොහැකි වුණාට යට ඇඳුමත් පාලනය කරමින් සිටින නිසා ජනතාව එසේ අසන්නට බයෙන් පසුවෙති. පසුගිය ජනාධිපති මැතිවරණ අතර, මහලු කාන්තාවන්ට සිල් රෙදි බෙදීමත්, තවත් හාදයෙකු, කාන්තාවන්ට නොමිලේ සනීපාරක්‍ෂ තුවා ලබාදෙන බවට කී විකාර කතාවත් ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ පිස්සන් ජනාධිපති වීමට දෑරූ උත්සාහයන් නොවේද?

ලංකාවේ රටේ විපරියාස ගැන ලෝකය, කල්පනා කළාට ලංකාවේ ජනතාවට පුරවැසි අයිතිවාසිකම් ගැන සිහිපත් නොවීම අභාග්‍යයකි. එසේ කල්පනා වෙනවා නම් සිරිසේනට එක් දවසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දැරීමට අවකාශ ලැබෙන්නේ නැත. එසේ කල්පනා වෙනවා නම් රනිල් වික්‍රමසිංහට එක් දවසක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය දැරීමට අවකාශ ලැබෙන්නේ නැත. මේ පක්‍ෂ දෙකම රටේ මානනීය චරිත විසින් නිර්මාණය කොට ආරක්ෂා කළ හෙයිනි. සිරිසේන රනිල් දෙදෙනාම 2024 ජනාධිපති වීමට පාරම් බාමින් සිටිති. අප නිහඬව සිටියොත් එහෙම වෙන්නත් බැරි නැත. හෝ දෙදෙනාම රාජපක්‍ෂලාට නැවත දිනුම ලබාදෙන තැනකට ජනමතය කඩා ඉහිරවනු නිසැකය.


මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් පැරණිම පක්‍ෂය එජාපය පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා සිය 75 වන සංවත්සරය පැවැත්වීය. එහි නායකයා රනිල් වික්‍රමසිංහය. රනිල් නම් වූ හේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට සිදු කළ යුතුව තිබණ මැදිහත්වීම නොතකා හැරිය අමන පාලකයෙකි. ඔහු එජාපයේ නායකයා නම්……? පසුගිය සැප්තැම්බර් 03 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය 70 වන සංවත්සරය පැවැත්වීය. එහි නායකයා මෛත්‍රිපාල සිරිසේනය. හෙතෙම පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම ඕනෑකමින් පැහැර හැර රටේ අනාගතයට සැලසුම් ගැන කතා කරන අමන පාලකයෙකි.


රටේ පාලකයන්ට සිරිසේන වික්‍රමසිංහ දෙදෙනාම අරහංය. 2015 ජනවාරි 7 වෙනිදා රාත්‍රියේ සිරිසේන කුරුණෑගල පොල් වත්තක සැඟවී සිටියේය. ඒ පැරදුණොත් රාජපක්‍ෂලා තමන් මරා දමාවිය බියෙනි. සිරිසේන ජනාධිපති වී පළමුව ගියේ නාග විහාරයට නොවේ. ගෝඨාභය රාජපක්‍ෂගේ ගෙදරටය. ඒ බය වෙන්න එපා කියන්නට නොවේ. කෙළෙහිගුණ සලකනවාමයි කියන්නටය. ඊට හේතු බොහෝය. රනිල් වික්‍රමසිංහ පරාජයවූ රාජපක්‍ෂ පවුලට මැදමුලනට යාමට හෙලිකොප්ටරයක් ලබා දුන්නේය. ඒ ඇයිදැයි මෙහි විස්තර නොවේ. සිරිසේන වික්‍රමසිංහ මෙසේ පැවතීමෙන් අපේක්‍ෂකයන් කිහිප දෙනෙකු පොර වැදී 2024දීත් රාජපක්‍ෂ කෙනෙකු ජනාධිපති වීමට පාර කපන්නේ එසේය. සජිත් යනු කොහොමටත් චරිතයක් නොවේ.


මේ තේරුම් ගැනීම (හෙවත් යටත් පිරිසෙයින් රාජපක්‍ෂලාට හෝ එරෙහි නොවන පලදායි පෙළගැස්මක් අපේක්‍ෂා කරන) පලදායි පණිවිඩය, රටට සවිස්තරව තේරුම් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට නොවේ. පෙරටුගාමීන්ට නොවේ. අනුර කුමාර දිසානායකලාටය. දුමින්ද නාගමුවලාටය. සිවිල් සංවිධානයන්ටය. පක්‍ෂ පාටවලින් මිදී ප්‍රශ්න දෙස බැලීමට ජනතාව උනන්දු කරවීම නිර්දේශපාලන කටයුත්තකි.

නිර්දේශපාලනය ආත්මය කොට ගත් 2015 ජයග්‍රාහී සටන ගැඹුරෙන් හදාරන්න. තනතුර අහෝසි කර නික්ම යන්නෙකු මුල් කොට රට වෙනුවෙන් පෙනී සිටින්න. එකී අරමුණ ජයග්‍රහණය කළ විට, පාට ලකුණු මතවාදීව වෙන්ව සිටින සක්‍රිය දේශපාලන ධාරාවන් සියල්ලට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ රටේ ඉතිරි වෙනවාමය. ජනාධිපති අගමැති දෙකේ බූරු සම්ප්‍රදාය, 43 වසරක් කළ හදිය රටටම තේරුම් කළ දිය යුතුවේ. විධායක ක්‍රමය අහෝසි කර ගෙදර නිර්දේශපාලන චරිතයක් නිර්මාණය කරන පෙරමුණකට එක් වන ලෙස රටේ දේශපාලනික සහ නිර්දේශපාලනික දේශ හිතෛෂීන්ට ආමන්ත්‍රණය කිරීමට සිවිල් ක්‍රියාකාරිකයන් මුල් විය යුතුවේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි